හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් නිර්මාණය කරන ලද ” හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය ” නමැති කෘෂි නිෂ්පාදන අලෙවිකරණ මෘදුකාංගය දකුණු පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසටහන

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් කෘෂි නිෂ්පාදන අලෙවිකරණය වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීම සඳහා ” හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය ” නම් යෙදවුමක් (APP) නිර්මාණය කර ඇති අතර, ජනතාවගේ/ ව්‍යවසායකයින්ගේ විකුණුම් මිලදී ගැනුම් ක්‍රියාවලිය වඩාත් ඉක්මනින් හා පහසුවෙන් සාධාරණ මිල ගණන් යටතේ සිදුකර ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණ වේ.

මෙම මෘදුකාංගය නියමු ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාත තුළ ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා දකුණු පළාතේ රාජ්‍ය ආයතනයන් දැනුවත් කර එම ආයතනයන්හි සහයෝගය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතින් කරන ලද ඉල්ලීමට අනුව මෙම ව්‍යාපෘතිය දකුණු පළාත තුළ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත.

මාර්ගගත (Zoom) තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ 2022/07/01 වන දින ප.ව.2.00 සිට ප.ව.4.00 දක්වා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ. වේලාරත්න, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දිලේඛා කුඩාච්චි, දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සී.ඩී. ගුණවර්ධන, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) චාමර මහගමගේ, දකුණු පළාත් සහකාර ආණ්ඩුකාර ලේකම් චන්ද්‍රිකා වික්‍රමසිංහ හා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී දීප්ත දීගොඩ ගමගේ ඇතුළු මහත්ම මහත්මීන්ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තිසාන් දම්මිත් සහ ප්‍රාදේශිය කළමණාකාර සංජය පුෂ්ප කුමාර යන මහත්වරුන් සහභාගී විය.

එසේම එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී ඉෂාරි සිරිවර්ධන (ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දිනේෂ් පෙරේරා (ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන), කළමණාකරු රංජිත් සෙනෙවිරත්න (ඩිජිටල් ව්‍යාපෘති ප්‍රවර්ධන) සහ දකුණු පළාතේ හෙළවිරු ව්‍යාපෘතිභාර නිලධාරී ප්‍රියංකර ඩයස් යන මහත්ම මහත්මීන් ඊට සහභාගී විය.

මීට අමතරව එම අවස්ථාවට ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්තුමන්ලා සහ සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) හා සහකාර ලේකම්වරුන් දෙපළ, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්, ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

මෙම යෙදවුම් දකුණු පළාතේ ගොවීන් අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සඳහා දකුණු පළාත් සභාවේ නිලධාරීන් ඇතුළු පළාතේ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා විසින් එහිදී දන්වා සිටින ලදී.